රාජ්‍ය සේවයේ නව බදවා ගැනීම් සාර්ථක වේද?

 රාජ්‍ය සේවය මෙරට ස්ථාපිත වූයේ යටත් විජිතවාදයෙන් පසුව වන අතර එහි අරමුණ වූයේ රාජ්‍ය ප්‍රතිසංස්කරණය සහ ආර්ථික වර්ධනයයි. 1956න් පසුව පැමිණි දේශපාලන විධායකයේ දශක කීපයක් තුළ රාජ්‍ය සේවය ඇති දැමුවේ සිතාගත නොහැකි තැනකටය .ඊළඟ ඡන්දය වෙනුවෙන් රාජ්‍ය සේවය පුරවන සංස්කෘතිය බිහි වූ අතර රාජ්‍ය සේවය ඡන්ද බැංකුවක් බවට පත් පත්වී රටට බරක් විය.මේ සත්‍යය වෙනස් කිරීමට කිසිදු ආණ්ඩුවක් උත්සුක වූයේ නැත.යළිත් මේ කරළියට පැමිණියේ රට බංකොලොත් වු පසුවය.

දැන් යලිදු රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් පිළිබඳ සාකච්ඡාවක් ඇතිවී තිබෙන්නේ අනුර කුමාර දිසානායක ආණ්ඩුව සිය මංගල අයවැයෙන් සිදුකරන ලද රාජ අංශය අත්‍යවශ්‍ය පුරප්පාඩු  30,000 පිරවීමේ යෝජනාවත් සමඟය.මෙහිදී ඔහු රාජ්‍ය සේවය දේශපාලනිකයන්ගේ සහ ආධාරකරුවන්ගෙන් පුරවා ගැනීමේ අතීත පරපුරුද්ද පිළිබඳ යළිත් මතකය අවධි කළ අතර ජාතික ජන බලවේගය ඒ සියල්ල නතර කළ බවට ද ඔහු ප්‍රතිඥා දුන්නේය.ඒ අනුව රාජාංශය බදවා ගැනීම් උසස් වීම් ස්ථාන මාරුවීම් දේශපාලන බලපෑම්වලින් තොරව සුදුසුකම් හා කුසලතා මත නිවැරදිව සිදු කරන බවට ඔහු සහතික විය.

ජීවන ගමනේදී රාජ්‍ය සේවය පුරවැසියන්ට නැතුවම බැරිය.රාජ්‍ය සේවය වූ කලි පුරවැසි යහපත මුල් කරගෙන පැවත එන්නෙකි.එය යුතුකමක් නොවන අතර රාජ වගකීමකි.එහෙත් ඡන්දය පතා සිදුකරන ලද පත්වීම් තුළින් රාජ අංශය පොළොවට සමතලා වූ අතර වගකීමක් නැති රාජ ආයතන බවට පත්විය.මේ නිසා රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී අත්‍යවශ්‍ය බඳවා ගැනීම්වල විෂමතා සෙවීම අත්‍යවශ්‍ය වේ.

පසුගිය වසරේ කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවක කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජාතික මහතා සඳහන් කළේ බොහෝ රෝහල්වල පහළ ශ්‍රේණි සඳහා බඳවා ගැනීම සිදුකර තිබෙන්නේ රෝහල් අවශ්‍යතා අනුව නොවන බවත් දේශපාලන අවශ්‍යතා අනුව බවත්ය.රෝහල්වල අත්‍යවශ්‍ය වෛද්‍යවරු නමැති වුව ද අනවශ්‍ය සේවක සේවිකාවන් වැහි වැහැලාය.දුම්රියට රියැදුරන් නැත පාසල්වල ගුරුවරු නැත නමුත් අනියම් සේවකයෝ ඕනෑ තරම්ය.මේ සියල්ල මැති ඇමතිවරුන්ගේ පත්වීමය.

ඉතින් මේ රජය ලබාදෙන නව රැකියා 30,000 අයත් වන්නේ මෙවන් අනියම් සේවකයන් නම් එය රාජ්‍ය සේවයට බරක් වනු ඇත.තිබෙන තත්ත්වය අනුව රාජ්‍ය සේවයට අවශ්‍ය අන්‍යයන් සේවකයෝ නොව අත්‍යවශ්‍ය සේවකයෝය.හොඳින් මතක තබාගත යුතු  කරුණ නම් මෙවන් අලුත් බඳවා ගැනීම් සිදුකිරීමට රජය සැරසෙන්නේ වැටුප 40,000 ක් වු අවස්ථාවක බවය.ඉතින් මෙවැනි තීරණ සම කරන්නේ දැලි පිහියෙන් කිරි කෑමකට නොවේද?

Comments